Saturday, July 26, 2014

මගුලක් කතා කරනවානම්........ ලෑස්තිද? (කසාදේ කසාදේ... 2වන ලිපිය)





පැරණි පොත්පත් වල තියෙනවා විවාහ ක්‍රම 8ක්... 


1. බ්‍රහ්ම විවාහය

2 දේව විවාහය

3 සෘෂි විවාහය

4 ප්‍රජාපත්‍ය විවාහය

5. අසුර විවාහය

6. ගාන්ධර්ව විවාහය

7 රාක්ෂ්‍ය විවාහය

8 පෛශාච විවාහය වශයෙන් සඳහන් වෙනවා.
ඊයේ ලිපිය නතර කලේ මෙතනින්නේ.. මොකක්ද මේ විවාහ ක්‍රම 8... ඉස්සෙල්ලා කියන්න ඕනේ මේක “පැරණි පොත් පත්“ වචනාර්ථයෙන්ම මේක පරණයි.. ඕන් එහෙනම් අද කතා කරමු.. 

මේ විවාහ වලින් පළමුවෙනි විවාහ ක්‍රම 3 අද වෙන්නේ නෑ... බ්‍රහ්මණයන්, යෝගීන්, තාපසයන්, පූජකයන් අය පාවා දීමෙන් කරන විවාහ නිසා... 

හතරවන  විවාහ ක්‍රමය තමයි දෙමාපියන් හෝ වැඩිහිටි අයෙක්ගේ අනුමැතියක් ඇතිව  කුල සිරිත් ඉටු කරලා සිදුකරන විවාහ... මේවාට කියන්නේ විවාහය ප්‍රජාපත්‍ය කියලා  කියන්නේ...

අසුර විවාහ කියන්නේ ණය එහෙම තිබිලා... ගනුදෙනු පොරොන්දු  මත විවාහයක් කරනවානම්... 

එතකොට ජම්පිං ගොයින්.. ඒ කියන්නේ දෙමාපියන්ට හොරෙන් සිදු කරන විවාහවලට කියන්නේ ගාන්ධර්ව විවාහ කියලා.. (ඔන්න දැන් ඉදන් පැනලා යං කියන්නේ නැතිව... අපි ගාන්ධර්ව විවාහයක් කරමු කියලා යොජනා කරන්න පුළුවන්... සමහරු පොල්තෙල් ඔළුවේ ගාන්නේ නැති වුණාට නෙරළු තෙල් ගානවානේ... නේද?  =)) )

එතකොට ඔය හින්දි ෆිල්ම් වල  ටැමිල් ෆිල්ම් වල වගේ කොල්ලාට කෙල්ලට එක එක තර්ජන, ගර්ජන, කෝලහල එක්ක පැහැරගෙන ගිහින් සිදු කරන විවාහ තමයි රාක්ෂ්‍ය විවාහ කියන්නේ...

එතකොට නූල් පන්නලා, වශී කොරලා , ඔය අනම් මනම් මන්ත්‍ර ශාස්ත්‍ර කොරලා සිදු කරන විවාහ වලට තමයි පෛශාච විවාහ කියන්නේ...  (ඔන්න මහේෂ් සහෝදරයාට ඕනේයි කිව්ව දේ..)

නෑනා මස්සිනා විවාහ වලට අතීතයේ තහංචි දැම්මේ නෑ.. මොකද ඒක සම්මතයක්.. සහෝදර සහෝදරියන්ගේ දරුවන් සමග මේ විවාහ සිදු කරලා තියෙනවා. අපේ කවි සාහිත්‍යයෙත් මේ නෑන මස්සිනාගේ ආදරය පිළිබද රසවත් වගේම දුක්බර මතකයන් රාශියක් තිබිලා තියෙනවා.. කසාදයට ඔබ සූදානම්ද කියන ලිපි පෙළේ දෙවන ලිපියෙන් කතා කරන්නේ අපේ අතීතයේ තිබ්බ නෑනා මස්සිනා විවාහය පිළිබදව...

ඔන්න මම පටන් ගන්නේ අයිති වාසිකම් වලින්.. කවියෙන්ම නෑනට තියෙන අයිති වාසිකම් කීවේ මෙහෙමයි..

“වැසි දිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි
 මල් පැණි අයිති වට ගුමු දෙන බඹරුන්ටයි
 මීරා අයිති කිතුලේ කල වැද්දාටයි
 නෑනා අයිති කාටද මස්සිනාටයි “ 

හිතන්න නෑනා කෙනෙක් නැත්තම මොකද කරන්නේ .... අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නේ... එහෙම මස්සිනා කෙනෙක් කියන කවියක්...

සාගතේ මොටද මිනිහෙක්‌ සතය නැති
මාවතේ මොටද තමනට ඉඩක්‌ නැති
රාමතේ මොටද මහ පෙරළුමක්‌ නැති
ජීවිතේ මොටද නෑනා කෙනෙක්‌ නැතී...

ඉතින් මෙහෙම දෙයක් නැති උණාම ඉතින් නැන්දලාගෙන් එහෙම හොයනවා දූවරු ඉන්නවාද කියලා... එහෙම හොයන්නෙත් අමුතු විදිහට.. ලස්සන නැන්දා කෙනෙක් ගාවට ගිහින් අනේ නැන්දේ ඔයා ඔච්චර ලස්සන නම් ඔයාගේ දුව කොච්චර ලස්සන වෙන්න ඕනේද කියලා අහනවා... මෙන්න මේ විදිහට


ගින්දේ සඳුන් පිනිදිය ගිණි සිළු විලස

 සන්දේ කොවුල් සවනට රකු හඬසෙ 
විස බැන්දේ මමන මද යුදයට හැම දවස
නැන්දේ ඉතිං කොහොමද මට කල දවස

ඉතින් නැන්දා මෙහෙම උත්තර දෙනවා.. මම කිව්වේ පුවක් ගහෙත් දෙබලක් කියලා.. නැන්දට දූවරු නෑ,

අමයුත් රස වදන දී සිඹ සිඹ මූණ  
රම පුත් යුද දිනති විසි සියො සහ යාන  
මම ලත් දුවක්‌ නැත දෙන්නට එසමාන  
මම වත් එමි ඉඳින් දුක නැතුවම බෑන..."

ඉතින් මොනවා කරන්නද..  
 
හරි දැන් නෑනා කෙනෙක් ඉන්නවා කියන්නකේ.. හැබැයි ගෙදරින් මාමා නැන්දා කැමති නෑ.. ඉතින් මෙහෙම අයිතිවාසිකම් කියනකොට ඒ අයිති වාසිකම බුක්ති විදින්න බැරි උනොත් මොකද කරන්නේ.. ඒ කියන්නේ නෑන හම්බ උනේ නැත්තම්... 

මස්සිනා කියන කවියක් තමයි මේ.. නෑනා දෙන්න කැමති නෑ.. 

“කුටු කුටු ගාන උගුරේ ගෙඩි හැදීයන්
වට පිට බලන ඇස් දෙක පොල හැදීයන්
වමතට බදින කොන්ඩේ ගිනි වැදීයන්
මට දුව නොදෙන නැන්දගේ ළය පැළියන්..“

දැන් ඉතින් මෙහෙම ඉන්නත් බෑරිනම් මස්සිනා මෙහෙම ප්ලෑන් කරනවා..


"අප්පත් මහප්පත් මඟුලට හරස්‌ වෙතේ
 
රෑ තනි රැයක්‌ තනි යහනේ නින්ද නැතේ  
මගෙ නෑනා මා සමඟම දීග යතේ
 කාටත් නොකියාම අපි යමු පහළකෙතේ..."

ඔහොම තමයි ඉතින් අයිති වාසිකම් නොලැබුණාම.. ඒත් සමහර අය කරන්නේ ඔහොම ඉන්න කොට නෑනට සීන්.. කරන අය කරන්නේ

ඉරට පුලුවන්ද ගිරවුන් අල්ලන්ට
සඳට පුලුවන්ද සාවුන් අල්ලන්ට
මලට පුලුවන්ද බඹරුන් අල්ලන්ට
නෑනට පුලුවන්ද මට තනියට ඉන්ට

.ඉතින් කොහොමෙන් කොහොම හරි නෑනා මස්සිනා සෙට් වෙනවා.. එතකොට නෑනලා සමහර වෙලාවට එක එක ගැටළු වලින් බේරෙන්නත් මස්සිනා උකස් කරනවා..

ඉස්සර අම්බලම් හදන්නේ සැතපුම් 22 න් 22කට.. එතකොට ගොඩාක් දුර කතර ගෙවාගෙන තමයි යන්න වෙන්නේ.. ජන කවි සාහිත්‍යයේ  ලස්සන සිදුවීමක් තියෙනවා. (මේක අපිට කීවේ අපේ සිංහල උගන්නපු ගුරුතුමා.... ආර්. රාජපක්ෂ ගුරුතුමා.. එතුමව මතක් කරනවා මේ වෙලාවේ...)

ඉතින් අම්බලමේ ඉන්නවා තරුණයෙක්... තරුණියක් මේ අම්බලම ලගින් යනවා.. ටිකක් ඇහැට කනට පේන තරුණියක්.. තරුණයා මෙහෙම කියනවා.. පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉග... නෑ නෑ දැන් කාලේ කොල්ලෝ ටිකාාාක සංවරයි.. ... 

“ අල්ලාගෙන නෙරිය අතකින් කින්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කින්ද නගෝ
සැමියෙකු නැති මගක තනියම කින්ද නගෝ
අම්බලමේ මදක් නැවතීයන්ද නගෝ....“

ඉතින් මේ කෙල්ල හා අයියා කීවේ නෑ මේ කෙල්ල බෑ කිව්වෙත් නෑ... මොකක්ද කිව්වේ... ආඩම්බරයි බැලුවම නම් ..  හොර..   නෑ නෑ.. ඒ කාලේ කෙල්ලෝ දැන් කාලේ කෙල්ලන්ට වඩාාා ගොඩාාාාක් සංවරයි... 

අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හන්දා
වසාගෙන දෙතන බිලිදුගේ කිරි හන්දා 
බාල මස්සිනා පස්සෙන් එන එන්දා
යන්නම් අයියන්ඩි ගම රට මගේ දුර හන්දා...

ඉතින් මෙතන බාල මස්සිනා කියලානේ කියලා තියෙන්නේ.. ? හරි අපි ලොකු අයියා.. පොඩි අයියා.. කියලා කියනවානම් ඇයි වැඩිමහල් මස්සිනා බාල මස්සිනා කියලා කීවම වරදක් නෑ කියලා මට හිතුණා..

හැබැයි සමහරක්වෙලාවට මාමාවරූ දූලා දෙන්නේ බලෙන්ම පෙරැත්ත කරලා.. එහෙම වුණ මස්සිනා කෙනෙක් කියනවා මෙහෙම කවියක්...


අප්පගෙ පෙරැත්තේ බැරුවා නිසාවට  
බින්න මඟුලකට බහදී මෙමා හට  
අප්පා ලෙසට වුණි අඹුවක්‌ එදා සිට
උපන් රටට යැමට දැන් හිතෙයි මට"


කසාද බැන්දයි කියන්නකෝ.. ඉතින් මොකද කරන්නේ... බින්න විවාහයක් වුනොත් මෙහෙම දෙයක් වෙනවා.. මම කලින් ලිපියේ කිව්වේ.. මේ බින්න විවාහයේදී ගෙනි යන්න ඕනේ දෙවල්  තියෙන්නේ මේ කවියේ..

තක්‌ක තරිකිට බින්න දොං දොං  
පැළේ යට හැරමිටිය දොං දොං  
බොලේ කෝ තල අත්ත දොං දොං
  මලේ දිය හුළු අත්ත දොං දොං"

මොනවාද බොල ගෙනියන්න ඕනේ... බලමු.. හැරමිටිය.. ඒ මොකටද.. මොකද දන්නවාද. නැන්දම්මා.. හෝ භාර්යාව පලයං කිව්වොත් රෑ වෙලා  හැරමිටිය ඕනේ වෙනවා සතා සීපාවාගෙන් ආරක්ෂා වෙන්න... එතකොට තල් අත්ත මොකටද මොකටද දන්නවාද වැස්සක් ආවොත් එහෙම..  අයේ හුළු අත්ත.. මොකද රෑ කළුවරේ යන්න එපායේ.. ඒකයි... ඉතින් 

නැන්දම්මට මේ බෑණා පොඩ්ඩ වෙනස් වෙන විදිහ බලන්න...

අලුත් පිට බෑනා ගෙදර එන විට
මලුත් පුදා දුව කැන්දා දෙති ළඟට
කලුත් ගොසින් බෑණා ගෙදර එන විට
බලුත් නොවටීය බෑණා නැන්දාට...”


අද ඕන්න පළ කලේ ඉස්සර නෑනා මස්සිනා විවාහ පිළිබදව අයෙත් ලිපියකින් හමුවෙමු.. එහෙනම් ජය වේවා..

4 comments:

  1. අන්තිමේ තියෙන කවි සෙට් එකනම් එල..

    ReplyDelete
  2. ඒ අපේ රටේ ජන කවි... සහෝදරයා..

    ReplyDelete
  3. මට අපේ පාසල් කාලෙ මතක් වෙනවා රංග ඔයා රාජපක්‍ෂ සර්ගේ පාඩම ඒ විදිහටම කියලා
    මම ඔයාට සුබ පතනවා

    ReplyDelete
  4. මටත් මේ ලිපිය ලියද්දී මතක් වුණා... ඒ කාලේ.. සුන්දරයි... ස්තූතියි අදහස් දැක්වීමට...

    ReplyDelete