add

Tuesday, July 15, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (3වන කොටස)

EGO

මනස තුළ සංවර්ධනය වන දෙවන කොටස මෙයයි. සැලසුම් කිරීම , හේතු සෙවීම, ගැටලූ විස`දීම සහ ඉඞ් පාලනය කිරීමට මෙම ඊගෝට හැකියාව ඇත.ඊගෝ ගේ ප‍්‍රධාන කාර්යය වන්නේ ඉඞ්ගේ චර්යාව බාහිර පරිසරයට අනුව එළි දැක්වීමයි. ඉඞ් නියෝජනය වන්නේ විඥානය සහ උප විඥානයයි. යථාර්ථ මූලධර්ම ඔස්සේ කටයුතු කරන ඊගෝ මනුෂ්‍යයා ජීවත්වන යථාර්ථ ලොව පවතින නීති රීති චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදි කොන්දේසි බෝහෝමයක් ඉඞ්ගේ සුඛ විහරණ මූලධර්මයට ඉ`දුරා පටහැනි වේ. ඊගෝ ගේ ස්භාවය වන්නේ ආත්මය, අහංභාවය  පහන් සිත හෙවත් උඩුසිත යන නමින් හදුන්වයි. මෙය ඇති වන්නේ අවුරුදු 6-7 අවධියේදී බව තාර්කානුකූලව දැක්වේ. එනම් තමන් කරන දේවල ප‍්‍රතිඵල දැනෙන අවධියේදීය.

ඊගෝ, ඉඞ්ගේ සුඛ මූලධර්මයන්ට විරුද්ධ නොවේ. ඊගෝ උත්සහ දරන්නේ බාහිර ලොව කොන්දේසිවලට අනුකූලව  ඊට යටත් ව තෘප්තිවීමටය. ස්ප‍්‍රින්ට්හෝල්ට අනුව ඉඞ් හා සුපර් ඊගෝ නිරන්තරව එකිනෙකට විරුද්ධව ගැටෙද්දී, පෞරුෂයේ තුන්වන අංශය ලෙස කි‍්‍රයාත්මක වී ඊගෝ විසිනු සාධාරණය ඉටුකරනු ලබයි.ඊගෝ විසින් ඉඞ්  පාලනය කිරීම අහ්වයකු හසුරුවන මිනිසකුට උපමා කර ඇත.මෙහිදී ඉඞ් අශ්වයා වන අතර ඊගෝ මිනිසා වේ.

ඉඞ්ගේ පේ‍්‍රරණ වලට සුපර් ඊගෝ විරුද්ධ නොවන්නේ නම් විඥානයට ගොස් කෙලින්ම තෘප්තිමත් විය හැකිය. නමුත් ඉඞ් බොහෝ පේ‍්‍රරණවලට සුපර් ඊගෝ විරුද්ධ වන බැවින් ඒ දෙක අතර ගැටුමක් හටගනී. එයින් පුද්ගලයාට මානසික ආබාධ හටගනී.ඇතැම් විට ස්නායුගත ව්‍යාකූලතා පවා හට ගැනීමට හැකිය.එවැනි වු තත්වයන් ඇති වන්නේ ඊගෝ දුර්වල වූ විටය. ඉහත ගැටූමේදී ඊගෝ ගේ මැදිහත්වීම ශක්තිමත් වූවා නම් මෙවැනි ගැටළු පැන නොනගී. ඊගෝ දුර්වල වී පරාජය වුවහොත් පුද්ගලයා පරාජයට පත්වේ. මෙම පීඩාවන් වැලැක්වීම ස`දහා ඊගෝ විසින් සංරක්‍ෂණ ප‍්‍රයෝග වලින් සන්නද්ධ වී සිටි.

සංරක්‍ෂණ ප‍්‍රයෝග

එදිනෙදා ජීවිතයේදී මුහුණපාන කරදර තර්ජන හදිසි අනතුරු හා ඉච්ඡුාභංගත්වය ආදිය නිසා පුද්ගලයා තුළ ඇති වන මානසික ආතතිය කාංසාව ලෙස හදුන්වයි. ෆ්‍රොයිඞ්ට අනුව කාංසාව හ`දුන්වන්නේ බාහිර අනතුරකට දක්වන යථාර්ථවාදී ප‍්‍රතිචාරයක් වශයෙනි. මෙවැනි කාංසාකාරී තත්වයන් මග හැරීමට හෝ මිදීමට පුද්ගලයා විසින් අනුගමනය කරන කි‍්‍රයාමාර්ග සංරක්‍ෂණ ප‍්‍රයෝග නමින් හදුන්වයි.

1.    අවරෝධය
2.    ප‍්‍රක්ෂේපනය
3.    විස්ථාපනය
4.    ප‍්‍රතික්ෂේප කිරීම
5.    ප‍්‍රතිකි‍්‍රයා සාධනය
6.    යුක්ති ප‍්‍රතිපාදනය යථාර්ථකරණය
7.    උත්කර්ෂණය
8.    ප‍්‍රතිවර්තනය

Super Ego

මෙය මනසේ සංවර්ධනයට උපකාරීවන තුන්වන කොටසයි. මෙයින් නියෝජනය වන්නේ පුද්ගලයාගේ සදාචාරයයි.දරුවා සිරිත්, විරිත්, අගයන් ඉගෙනීමට පටන් ගැනීමත් සමග සුපර් ඊගෝ සංවර්ධනය වේ.හෘද සාක්ෂිය සහ ඊගෝ පරමත්වය යනුවෙන් සුපර් ඊගෝ කි‍්‍රයා කරනුයේ සදාචාර මූලධර්ම අනුවයි. සුපර් ඊගෝ යන මානසිකත්වය පිලිබ`ද පුද්ගලයාට පහල වන්නේ හො`ද නරක පිළිබ`ද අධ්‍යයනය කර කාලයේදීය. එනම් වයස අවු 3-5 දක්වා කාලයේදීය.පරිසරයත් සම`ග ගැටී ඔහු තම චර්යාව සාදා ගන්නේ මේ කාලයේදීය. මේ කාලය තුළ දෙමාපියන් විසින් හො`ද නරක කියා දීම, වැරදි වලිට ද`ඩුවම් දීම හා එම කි‍්‍රයා පාලනය කිරීම තුලින් සුපර් ඊගෝ පොෂණය කළ හැකිය.

මෙහිදී ප‍්‍රධාන වශයෙන් තුන් ආකාරයට පෞරුෂත්වය ෆ්‍රොයිඞ් විසින් විග‍්‍රහ කරයි.


අපි මීළග ලිපියෙන් කතා කරමු ෆ්‍රොයිඩ්ට අනුව අවධි 5ක ගැන කතා කරලා තියෙනවා ඒ ගැන අපි කතා කරමු....

එහෙනම් හැමෝටම ජය වේවා... 

Monday, July 14, 2014

නොහැරමි ඔබව මගේ සිතින්.....

මට නොහැක හැර යන්න
ඔබේ  දෙනෙත් යුග
සිහිවේ යළිදු
පෙර කලෙක
සිටි විලස..
මොහොතින් මොහොත
මොහොතින් මොහොත
අළුත් වෙවී...
නැවුම් වෙවී....

සසර එක ලෙස පැමිණ
යළිදු අප හමු වුණද
අපිට ඇත බාධකයන්
යළිත් වෙන්වෙන ලෙසට


 යළිදු අප එක්වුණද..

යා යුතුය හැර දමා..
ලොවෙහි පවතිනා.. දුක
නිවන මගක් සොයා

මා ඔබව හැර යන්නේ
ඔබටත් ලොවටත්
ඇති ආදරය නිසා බැව්
වැටහේවි මතු දිනක....

එවිට සියල්ලෝම සනසත හැකී
මා සිතු ලෙස............


මනුස්සකම යළි දුටුවෙමි......

සුන්දර සති අන්තයක් ගෙවුණා.. බෞද්ධයෝ වශයෙන් අපට පින්කම් රැසක් කර ගන්න පුළුවන් වුන සති අන්තයක්... ඉතින් කොහොමද.. මම මෙහෙම ඇහුවයි කියලා
ඔයාලා දෙන උත්තර මට ඇහෙන්නේ නෑනේ.. කමක් නෑ.. අපි සිංහල කම අගයන මනුස්සකම් සපිරි ජාතියක් නේ.. ඉතින් කතාවට මුල පුරණ කොට අනිවාර්යෙන් අහන දෙයක් නේ
...

ළිදට බාල්දියක් අරන් යනවා දැක දැක අහනවා.. කොහොද මේ යන්නේ නාන්නද.... ? කියලා...  නේද.. ඒ අපේ කම.. ඒක තමයි අපි අනෙක් රටවල මිනිස්සුන්ට  සම කරන්න බෑ කියන්නේ..
අපේ රටට පැමිණෙන අය අපේ රටේ හොද කියන්නේ.. මොකද පිටරට ගොඩක් පවතින්නේ.. OWN YOUR BUSINESS කියන දේනේ...ඉතින් අනෙක් කෙනා ගැන බලනවා අඩුයි...
අනෙකාගේ දුකේදි කරදරයකදී ඒ අය එකිනෙකාට පිහිට වෙන්නේ බොහෝම අඩුවෙන්... ඕනේ නම් 911 වගේ කෝල් කරලා.. ඒ දේ ගැන කියයි.. එච්චරයි..

හැබැයි අපේ රටේ එහෙම දුකක් කරදරයක් අපේ මිතුරකුට උණත් සතුරෙකුට උනත් සිදු වුනොත්.. ඒක මග හරින්න නම් අපේ මිනිස්සු උත්සහ ගන්නේ නෑ,. කොහොම හරි ඒ තරහ මරහා
අමතක කරලා .. උදව් කරන්නන තමයි මේ අය බලන්නේ.....

ඒ අපේ කම... අපේ කම ගැන කතා කරද්දි.. වර්තමානයේ නව ප්‍රවනතා රැසකට මුල් ආරම්භය දීලා තියෙනවා... ඒ අනුව මාධ්‍යය ක්ෂේත්‍රයේ නිර්මාණ රැසක් මේ අපේකම.. බිහි වෙලා තියෙනවා..

ඒ අතර .. ප්‍රචාරක කලාව මේ වෙනකොට ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා... මම මෙහෙම ලිපියක් දාන්න හේතුව තමයි අපේ අය තාමත් මනුස්ස කමට ගුණ දහමට නිසි තැනක් දෙනවා කියන එක...ළගදි දවසක... ඔප්පු උණා...

මේ ළගදි පැවැත්වුණා හැමෝම දන්නවා ඇති දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය.. ඕකෙදී මම දකින විදිහට එම්.ජී ධනුෂ්ක.. සොයුරා  ඩ්‍රීම් ස්ටාර් වුණ  හේතු 2ක් දකිනවා .....ඒ අතර ඔහුගේ තිබුණ . දක්ෂතාවයත්.. ඊට පරයා නැගෙන මනුස්ස කම ත්
.. ඔහුගේ මේ ජයග්‍රහණයට පාදක වුණා ...  ... මොකද දන්නවාද අපේ මිනිස්සු තාමත් මනුස්සකම අගය කරන පිරිසක් නිසා..

කාරණාව පැහැදිලි ඇති .. ඉතින් මම අද මේ ලිපිය දාන්න හේතුවත් .. මේ ලිපියෙන් ඔයාලාට කියලා දෙන්න යන දේත් යම්තාක් දුරකට පැහැදිලි ඇති කියලා මම හිතනවා... මම අද මේ ලිපිය දාන්නේ මනුස්ස කම වෙනුවෙන්..

ඒ එක නිහතමානි චරිතයක් වෙනුවෙන්.. ගිමන් නිවන නිම්තෙර පිටුව අද දින වෙන් කරනවා.. ඒ තමයි එම් ජී ධනුෂ්ක සොයුරා වෙනුවෙන්....






ඔහු විසින් ගායනා කරන ලද සින්දු කිහිපයක් දාන්නම්... අහන්න... දක්ෂතාවයත් මනුස්ස කමත් කැටි වුණු අවස්ථාවන්......













සම්මුඛ සාකච්ඡාවකදී පැවසූ අදහස්...


ඔච්චරයි.. තවත් ලිපියකින් හමුවෙන්නම්.. ඔබට ජය.....

Friday, July 4, 2014

ආදරය තුල දයාව......

මම මේක කලින් ලිපියකදී කතා කරා ... ආදරය තුළ ආරක්ෂාව.... හරි බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලලා මේ ලිපිය කියවන්න...... නැත්තම් කරකලා අතහැරියා වගේ වෙයි..



කලින් ලිපියේ කතා කර දේ අනුව බොහෝ ම ටිකයි මම ආරක්ෂාව ගැන කිව්වේ.. හැබැයි ඒ ටික  ඇති ජීවිතය හදාගන්නවානම්.. ආරක්ෂාව .... ඔයාලාට මතක ඇති මම කලින් ලිපියේ දැම්ම වීඩියෝ එක ඒක ඉන්දියාවේ ඉන්ෂුරන්ස් කොම්පැනියක ඇඩ් එකක්.. ඒ ඇඩ් එක ඔයාලා බැලුවානම් ඔයාලාට තේරෙයි මොකක්ද ආරක්ෂාව කියලා.. ඒකේ තියෙනවා නියම ආරක්ෂාව ... එකේ විදිහට අනෙකා වෙනුවෙන් කැප වෙන්නේ අඩබෙර ගහලා නෙවෙයි..

ඔයාලා දකින්න ඇති... (දැක්කේ නැත්තම් පහල වීඩියෝ එක බලන්න...)




ඒක තමයි හරි ආදරය.. අපි හැමදේම අනෙකා වෙනුවෙන් කැප කරන්න ඔනේ.. සාමාන්‍යයෙන් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ අනෙකාගේ යුතුකම් හරියට කලොත් තමයි... ඒ විදිහට බැලුවොත් ඔය පවුල් ප්‍රශ්න ඇතිවෙයි කියලා කියන්න පුළුවන්ද....?

හරි ඔය කිව්ව දේවල් ඔක්කොම කියලා ඉවර කලේ ආරක්ෂාවට . ... ඊළගට එන්නේ දයාව.. කියන එක.. දයාව කියන දේ....දයාව කියන්නේ දයාව කියන්නේ කිසිම ආගම් භේදයෙන්, වයස් භේදයෙන්, වර්ණ භේදයෙන් තොරව කළ යුතු අනෙකා කෙරෙහි දක්වන ඇල්ම... (ඒහෙම කියලා මේ ලිපිය කියවන අය.. වයස් භේදය කියන දේ අරගෙන .. පොඩි එවුන්ට දයාව පාන්න යයිද දන්නේ නෑ.. එහෙමනම් කරන්න එපා...)

කමක් නෑ මම මෙහෙම කියන්නම්කෝ දයාව අපි හැම දෙනාටම ඕනේ.. හිතන්න මෙහෙම එක පවල්ක් වුනාම... ස්වාමිපුරුෂයා සහ භාර්යාව අපි ඕක තේරෙන සිංහලෙන් කිව්වොත් හස්බන්ඩ් ඇන් වයිෆ්නේ.... ඔය දෙන්නා අතරේ එක එක කාල ගෝට්ටි ඇතිවෙනවානේ...

මේ ගොඩාක් දුරට හේතුව ඔය දෙන්නා අතර කිසි දායාවක් නැති කම.. එකිනෙකා රුස්සන්නේ නෑ,. හැබැයි බදින්න කලින් වාද බයිලා ගොඩාක් අතහරිනවා... බැන්දට පස්සේ ඒ කිසි දෙයක් නෑ.. බදින්න කලින් ලුණුයි බතුයි හරි කාලා ඉන්න හැකි කිව්වට පස්සේ දවස් වෙද්දි හොද්දට ලුණු මදි උනත් කෑ ගහනවා.. ඒක තමයි වැඩේ.. අනික සමාජෙට පෙන්නන්නේ මාර බෝධිසත්වයි කියලා.. හැබැයි ඒ කිසි දෙයක් ගෙදරට නෑ.. ගෙදර ඉන්නේ කාලි යක්ෂණියයි... ආලවක යකයි වගේ.. (ඒ උදාහරනේ ගත්තට දෙන්නා ඒ දෙන්නා කසාද බැදලා එහෙම නෑ )

ඔන්න ඉතින් පස්සේ ඇවිත් අඩලා දොඩලා ඩිවොස් වෙනවා.. ඒ වෙනකොට හැමෝම කියන කතාන්දරය තමයි මට වැරදුනා.. මේකා මම හිතන් හිටපු කෙනා නෙවෙයි. මෙයා බදින්න කලින් හරී හොදයි... බැන්දට පස්සේ මාර විදිහට වෙනස් උනේ... මම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ.....    වගේ පොදු ගුණාකාරයට දාන්න පුළුවන් දේවල්..

මම නම් කියන්නේ ඔය බැන්දට පස්සේ තමයි හරි කෙනා ඔයාට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ කෙනාගේ හැව ගැලවෙන්නේ බැදලා අවුරුද්දක් දෙකක් ගතවුනාම තමයි..අනේ අපිනම් එහෙම නෑ කියලා දැන් ලිපිය කියවන අය හිතනවා ... ඒක මම දන්නවා... ඔයාලා එහෙම නොවෙන්න පුළුවන්.. ඒත් බහුතරයක්ට මේ දේ තමයි වෙන්නේ.... අන්තිමේදි මොනවා  කරන්නද කියලාත් හිතෙනවානේ....

ඔය දේ කියද්දි මට මේ ළගදි දෙරණ රේඩියෝ එකේ උපුල් ශාන්ත සන්නස්ගල සර්ගේ  වැඩසටහනේ හොද සින්දුවක් හදුන්වලා දුන්නා.. මේ සින්දුව අපි කවුරුත් අහලා තිබුණට ඒ වචන අපි වැඩිය හිත්නනේ නෑනේ.. (හැබැයි දැන් බහුතරයක් සින්දුවල වචන වල කිසිම අර්තයක් නෑ)  හැබැයි මේ ගීතයේ වචන හොදට බලන්න .. අහලා බලන්න...

ඔයාලාට තේරුම් ගන්න පුළුවන් විවිධ වූ චරිත මේ ලෝකයේ ඉන්නවා කියලා..
මම මේහෙම මේ ගීතය ගැන නිර්වචනයක් කරන්නම්....

රෑ 9 ට 10ට විතර එක හස්බන්ඩ් කෙනෙක් වයිෆ්ව ගෙයින් එලියට දාලා දොරවහනවා.. වයිෆ් ඉන්නේ එලියේ තනියම.. කණා මැදිරි එලි මේ වයීෆ්ට පේනවා... හැබැයි වයිෆ් මේ ගැන කම්පා වෙන්නේ නෑ... මේ වයිෆ් කියන්නේ මම ඔයාට ආදරේ කලේ මේ  හැම දෙයක්ම දැනගෙන ..... මෙහෙම දෙයක් වෙයි කියලා මම දන්නාව......

තවත් ඇය කියනවා.. අර ගැටුම් මේ ගැටුම් බත ඉදෙනකම් විතරයි.. මේ අඩන ඒවා රෑ එළි වෙනකම් විතරයි තියෙන්නේ.... මේ හැමදෙයක් ගැනම මම දන්නවා ..මම මේ හැම දෙයක්ම හොදට හිතලා බලලා තමයි ඔබව තෝර ගත්තේ කියලා.. අන්න ඒ දේයට ඇය කියන්නේ ආදරේ කියලා....

ඇහැට කණට දකින දේවල් .. හැමදේයක්ම කරන්නේ කිසිම හිතේ කහටක් නැතිව... ඒ හැම දෙයක්ම විසදගන්නේ පස්සේ අත් බැදගෙන... මේ හැමදෙයක්ම අපි දෙන්නට දෙන්නා ආදරේ නිසා කරන දේවල්..


ඔන්න පද පෙළ

 කණාමැදිරි එළි දිලෙන කළුවරේ
ම හැර මා දමා තනිව මිදුලේ
බය කරන්නට හිතුව මදි ඔබ
තිගැස්සෙන්නේ නෑ ඕවාට මං
එපා වෙන්නේ නම් නෑ මට නම්
......
අර ගැටුම් මේ නැටුම් බත ඉදෙනකම් විතරයි
ඔය හැඬුම් ඒ දෙඩුම් රෑ එළිවෙනකොට ඉවරයි
තෝරගත්තේ ඔබව මං ඉන්නමයි ඒ වගේ
හරිම සරලව කිවුවොතින් නම් ඔබට මං හරි ආදරෙයි

ඔය නුවන් මේ සවන් අහන දකිනා ඒවා
හොද හිතින් එක හිතින් කරන කියනා දේවල්
විසඳගමු අපි අත් බැඳන් ඉන්නමයි ඒ වගේ
පැහැදිලිව තව කිවුවොතින් නම් අපිට අපි හරි ආදරෙයි..

කණාමැදිරි එළි දිලෙන කළුවරේ
ම හැර මා දමා තනිව මිදුලේ
මා හැඬෙව්වට ඔබේ දඟ වැඩ
එපා වෙන්නේ නම් නෑ මට නම්
තිගැස්සෙන්නේ නෑ ඕවට මං
එපා වෙන්නේ නම් නෑ මට නම්



සින්දුව හොදට අහන්නකෝ මෙන්න ලින්ක් එකකුත් දැම්මා...




මේ සින්දුවේන් මම පිටු ගණන් කියන්න ඕනේ දේ කෙටි කරා.. මේ සින්දුවෙන් ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා... ඒ තමයි මේ හිම දේටම විසදුම .. හැම දෙයක් ගැනම හරියට විසදුම... ඒ විසදුම කියන්නේ කලින් හොදට හොයලා බලලා තමයි කෙනාව තෝර
ගන්න ඕනේ...

තවත් විස්තර පසුවට කරන්නම්..  නැත්තම් මේ ලිපිය කියවන්නත් කම්මැලි හිතෙයි...අද ලිපිය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේද දන්නේ නෑ,. හැබැයි මම කියන්න තියෙන දේ නොකියා හිටියෝත් ඒක වැරදියි... ඒ හින්දා ... ආරක්ෂාව කියන දේත්... දයාව කියන දේත්.. හැමදේම.. අනෙක් කෙනාට ලබා දුන්නෝත් ඒ අය හැමදෙනාම ඔබව කවදාවත් අමතක කරන්නේ නැතිවෙයි.. කවදාවත් ඔබව දාලා යන්නේ නැතිවෙයි.. කවදාවත් ඔබත් එක්ක ගැටුම් ඇතිකරගෙන හිත් අමනාපකම් කර ගන්නේ නැතිවෙයි.....එහෙනම් යාළුවනේ අදට මම නවතිනවා... අයෙත් දවසක් මේ සම්බන්ධයෙන් ලිපියක්

දාන්නම්. ඔයාලා හැම දෙනෙක්ටම .. ජය වේවා... හැමදාම සතුට සපිරේවා....

Thursday, July 3, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (2වන කොටස)


මනෝ විශ්ලේෂණ වාදීන්ගේ ඇසින්



ස්වීයත්වය පිළිබ`ද සාකච්ඡා කිරීමේදී න්‍යායන් ගෙන් තොරව අධ්‍යයනය කිරීමට නොහැක. ස්වීයත්වය සම`ග බැදී පවතින න්‍යායන් අතර සිග්මන් ෆ්‍රොයිඞ් නාමය කිසිදා අමතක කළ නොහැක. ඔහුගේ මනෝ විශ්ලේෂණ වාදය මගින් පෞරුෂත්වය පිළිබ`ද අනාවරණය කර ඇති කරුණු පිළිබ`ද විමසීම පෞරුෂත්වය පිළිබ`ද ක‍්‍රමවත් වූ අධ්‍යයනයට මහ`ගු පිටිවහලක් වන්නේය.

මනෝ විශ්ලේෂණ වාදයේදී මනසේ ව්‍යුහය සවිඥානික, උපවිඥානික හා අවිඥානික වශයෙන් තුන් ආකාරයට බෙදුවා සේම එහි කි‍්‍රයාකාරීත්වය අතින් කොටස් තුනකට බෙදා දැක්වීය. මෙම කොටස් වලින් පෞරුෂත්වය මෙහෙයවනු අතර මොහුගේ න්‍යායේ ගැඹුර හා සමස්ත පදනම මෙය මත රදා පවති.

  • Id   -     දළ සිත
  • Ego      -     පහන් සිත
  • Super Ego -    උත්තරාත්මය

මොහුට අනුව Id පුද්ගල පෞර්ෂයේහි ජීව විද්‍යාත්මක පදනම වේ.මින් පසුව ඇති වන්නේ Ego  පෞර්ෂයෙහි මනෝ විද්‍යාත්මක අංශය වශයෙන් හැදින්විය හැකිය. එසේම පරිණත හා මුහුකුරා ගිය අවස්ථාවන්හීදි හටගන්නේ Super Ego ය. නමුදු මෙය වෙන වෙනම පවතින තත්ත්ව ති‍්‍රත්වයක් නොව මෙහි සංකලනයක් මත පෞරුෂත්වය ගොඩනැගෙන බව ඇතැම් විචාරකයින් විසින් පෙන්වා දෙනු ලැබේ.
  • ID
උපතේදී ම මනසේ පවතින් මුල් ස්වරූපය  මෙයයි. මෙහි ස්වාභාවය නම් අපරිණත, ආවේගාත්මක සහ අහේතුවාදී වන මනසේ ශක්තියයි. මෙහි ස්වාභාවය නම් තමාට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගැනීමේ ආශාව පවතින අතර මෙය කි‍්‍රයාත්මක වන්නේ සුඛ මූලධර්ම ඔස්සේය.මෙහි සියළුම පේ‍්‍රරණ උපත ලබන ස්ථානය වේ. එනම් කුසගින්න , පිපාසය , ලිංගික පේ‍්‍රරණයයි.

මෙම පේ‍්‍රරණ කෙසේ හෝ ඉටු කිර ගැනීමට ඉඞ් පරිශ‍්‍රමය දරයි. මෙහිදී කුඩා දරුවා හදුන්වා දෙන්නේ ඉඞ් ගුලියක් ලෙසයි.එනම් කුඩා දරුවාට අවශ්‍ය දෑ කෙසේ හෝ ලබා ගැනීමට පෙළඹීම ඔහු උදාහරණ ලෙස පෙන්වා දෙයි. මෙහි ආත්මාර්ථකාමීත්වය හා ආත්ම කේන්ද්‍රිය ලෙස හැසිරෙනු දැකිය හැකිය.
මෙහි මානසික ශක්තිය නිෂ්පාදනය කරන බලවේගය ආශ ලෙස හදුන්වන අතර මෙමගින් මනස පණ ගන්වා කි‍්‍රයාකාරීව තබයි. ආශ යන්නෙහි සාමාන්‍ය අදහස කාම ලක්ෂණ කරා ඇදී යාම යන්නයි.  මෙහි ආශයන් දෙකක් පවතින බව ෆ්‍රොයිඞ් පෙන්වා දෙයි.

1.    ජීවන ආශය
2.   මරණ ආශය

මීළග ලිපියෙන් අප ඉතිරි වු කරුණු සාකච්ඡා කරමු......

Monday, June 30, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (1වන කොටස)

මා මුලින්ම කථා කිරීමට බලාපොරොත්තු වන්නේ පෞරුෂත්වය හෙවත් ස්වීයත්වය පිළිබද මනෝ විද්‍යාව තුළ කතා කළ ඇති ආකාරයයි. මෙම සංකල්පය ස`දහා නිර්වචන පනහකට අධික සංඛ්‍යාවක් තිබෙන බව  ඕර්පොට් පෙන්වා දෙන අතර එම සියල්ලම එකින් එකට විවිධය. මෙයින් ගම්‍ය වන්නේ මේ කියන්නාවූ සංකල්පයට කොතෙක් දුරට පරස්පර අයුරින් අදහස් පළවී ඇතිද යන්නයි.

    පෞරුෂත්වය පිළිබ`දව මනෝ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමේදී මූලික ප‍්‍රශ්න හතරක් මත සාකච්ඡාවට බදුන් කරයි.

1*    කිසියම් සමාන අවස්ථාවන්දි පුද්ගලයන් සමාන අයුරින් හැසීරීම
2*    කිසියම් සමාන අවස්ථාවන්හිදී පුද්ගලයන් අසමාන ලෙස  හැසිරීම
3*    තනි පුද්ගලයා විවිධ අවස්ථාවන්හීදී සමාන ලෙස හැසිරීම
4*    සෑම පුද්ගලයකුම විවිධ වු අවස්ථාවන්හිදී විශේෂ වු අන්දමට හැසිරීම

මෙහි පළමුව පවතින ගැටළුව පැහැදිලි කර ඇත්තේ චර්යාවාදීන් විසිනි. ජේ වොට්සන් විසින් ඉදිරිපත් කළ අදහස් මත මෙම ගුරුකුලය බිහිවිය. ඔවුන්ගේ පැහැදිලි කිරීමට අනුව පුද්ගල චර්යාවට බලපානුයේ පරිසරයේ ඇති උත්තේජයන් බවයි. ඔවුන්ගේ ඉලක්කය වූයේ දෙන ලද වාතාවරණයකදී දී තනි තනි පුද්ගලයන් හෝ සමූහිකව හො හැසිරෙන ආකාරය, අවබෝධ කර ගැන්ම හා අනාවැකි කීම හෝ පාලනය කිරීමය.

දෙවන ගැටළුව විග‍්‍රහ කිරීමට උදාහරණයක් ගනිමු. මංගල අවස්ථාවකදී විවිධ පුද්ගලයන් විවිධ වු චර්යාවන් දක්වයි. එහි පවතින්නේ පොදු අවස්ථාවක් වුවද ඇතිම් පුද්ගලයන් නටති.ගයති. වයති. ඇතැම්හු නරඹති. තවත් අය තවකෙකු සම`ග කතාකරති. මෙය සිදුවන්නේ කවර හෙයින්ද ? මෙයට හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ පරිසරයෙන් ලැබෙන උත්තේජය ඒකාකාරී වූ නමුදු එයට පුද්ගලයන් සමාන ලෙස ප‍්‍රතිචාරය දක්වන්නේ පුද්ගල විවිධත්වයයි.

තෙවන ගැටළුවට අනුව පුද්ගලයකු එක් පරිසරයක ජීවත් වී වෙනත් පරිසරයකට ගමන් කලද ඔහුගේ පෙනුම හෝ බුද්ධිය, ඔහුගේ මුහුණෙහි හැගීම් ප‍්‍රකාශ කරන ආකාරය සංඥාවන් දෙන ආකාරය වෙනස් නොවේ. නමුත් මෙහිදී 100 % ම පුද්ගලයාගේ චර්යාව සමානකම් නොවේ. උදාහරණයක් ලෙස පුද්ගලයෙක් තම නිවසේදී හැසිරෙන ආකාරයත ඔහු සමාජයට ගොස් හැසීරීම සමාන ආකාරයක්ද යන්න ඔබ සිතන්නේද ?.
අවසාන ගැටළුවේදී එක් එක් පුද්ගලයන් හට සුවිශේෂි වු  ගති ලක්ෂණ පිළිබ`ද සෙවීමට යොමුවේ.


මෙයින් පෞරුෂත්වය පිළිබ`ද දක්වා ඇති අදහස් කිහිපයක් ගෙන සළකා බලමු.

  1. පුද්ගලයෙකු ගේ ගතිලක්ෂණ පිළිබ`ද හැදෑරීමත්, ඒ ගතිලක්ෂණ අතර ඇති සම්බන්ධතාව හා පුද්ගලයා අනෙක් පුද්ගලයන් හා නොයෙක්  අවස්ථාවන්හී දී අන්තර්කි‍්‍රයා කිරීමේ දී හැඩ ගැසෙන ආකාරයත් පෞරුෂත්වය ලෙස හැදින්වේ ( ලොව්ලර් සහ රොහොඞ් )
  2. පෞරුෂත්වය යනු යම් මොහොතක දී සමාජීය හා ජීව විද්‍යාත්මක පීඩනයන් ගේ මූලික ප‍්‍රතිඵලයක් ලෙස පහසුවෙන් අවබෝධ කොට ගත නොහැකි, එහෙත් කාලයක් තුළ අඛණ්ඩව පුද්ගලයන්ගේ මානසික හැසිරීම් රටාවන්හි යම් අසමානතා මෙන්ම අසමානතා නිර්ණය කෙරෙන ස්ථිර වූත්, ආවේණික වූත්, ගුණාංග සහ ළැදියාවන් සමුහයකි.(සැල්වටෝර් මැඞ්ඩි)
  3.  පුද්ගලයන් අන්‍යයන් කෙරෙහි බලපාන්නේ කෙසේද, ඔවුන් තමන් අවබෝධ කර ගන්නේ හා දකින්නේ කෙසේද යන්න මෙන්ම පුද්ගලයන්ගේ මැනිය හැකි අභ්‍යන්තර හා බාහිර ගතිලක්ෂණවල හා අවස්ථානුකූල කි‍්‍රයාකාරකම්වල සංකලනයකි.(ෆ්‍රෙඞ් ලූතන්ස්)
සමස්ථානික වශයෙන් උක්ත දැක්වූ නිර්වචනයන්ගෙන් ගම්‍ය වන්නේ පෞර්ෂත්වත්වයෙහි බලපෑම එක්තරා හැසිරීම් රටාවන්ට ,එක්තරා තත්ත්වයන්ට හෝ එක්තරා පුද්ගලයන්ට පමණක් සීමා කිරීමක් සිදු නොකරන බවත්, එය සියලූම පුද්ගලයන්ගේ හැසිරීම අවබෝධ කර ගැනීමට හෝ විස්තර කිරීමට දරන ප‍්‍රයත්නයක් බවත්ය. තවද මානව හැසිරීමෙහි වැදගත්කමත් ඉස්මතුවේ.

මෙයින් 1937 දී ගෝඞ්න්  ඕල්පොට් ඉදිරිපත් කළ නිර්වචනය මගින් පෞරුෂත්වයපිළිබ`ද නූතන සංකල්පය පිළිබ`ද අදහස තේරුම් ගත හැකිය.

  •  ඒ ඒ පුද්ගලයාට සුවිශේෂි වු පරිසරයට අනුව (ඔහුගේ * චර්යාව හා චින්තනය නියත කරන පුද්ගලයා තුළ වු මනෝ භෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂත්වයනම්වේ.   (ජී.ඩබ්. ඕල්පෝට් )

    මෙම නිර්වචනයෙහි අන්තර්ගතය ගැන සවිස්තරාත්මකව විමසා පෞරුෂත්වය පිළිබද යම්තාක්දුරට අදහසක් ගැනීමට උත්සහ ගනිමු.

‘‘ඒ ඒ පුද්ගලයාට සුවිශේෂී වූ’’ මෙයින් ගම්‍ය වන්නේ පුද්ගලයකුගේ අභ්‍යන්තර චින්තනය ට අනුව චර්යාව විග‍්‍රහ කළ හැකි වීමය. පුද්ගලයන් දෙදෙනෙකු වුවද එකම උත්තේජයන්ට විවිධ ප‍්‍රතිචාර දැක්වීම මෙහිදි සිදුවේ.

‘‘මනෝ භෞතික පද්ධතින් ’’ මෙයින් කියවෙන්නේ පෞරුෂයට අයත් කොටස්ය. එනම් මනෝ භෞතික යනු සිත හා කය යන දෙකම අයත් බවයි. පද්ධතියක් යනු මෙය කිසියම් ක‍්‍රමයකට ක‍්‍රමවත්ව සැකසී ඇති බවයි. පෞරුෂයට අභ්‍යන්තර සාධකත් චර්යාවත් දෙකම අයත් බවය.

‘‘ ගතික’’  යනු වෙනස් වන සුළු බවයි. ස්ථාවර නොව බවයි. පෞර්ෂයේ ස්භාවය මින් කියවන අතර පෞරුෂත්වයහැඩ ගැසෙන, වැඩෙන , වෙනස් වන ආකාරය ද මින් හෙළිවේ. නව  මත සියල්ලම පෞරුෂත්වය පිළිබ`ද මෙම ගුණාංගය ඇතුලත්ය.

‘‘සංවිධානය’’ මෙම වචනය යෙදීමට හේතුව කිසියම් පිළිවෙලකට එක ආකාරයට ගොනු වී ඇති බව හැගවීමටය. එනම් යම් යම් ලක්ෂණ තනි තනිව වෙන වෙනම තිබීම නොව කිසියම් ක‍්‍රමයක් හෝ රටාවක් ඔස්සේ සංවිධානය වී ඇති බවයි.

සමස්ථය ගත් කල පෞරුෂත්වය යනු එක් එක් පුද්ගලයින්ට සුවිශේෂි වු අභ්‍යන්තර ලක්ෂණයන් අනුව යම්කිසි ක‍්‍රමවේදයකට ඔහුගේ සිත හා කය යන දෙකින් අභ්‍යන්තර සාධක පිළිබඹු වන වෙනස් වන සුළු වූද, සංවිධානාත්මක වූද, ලක්ෂණයකි.

මෙම ලිපිය සදහා 

මූලික මනෝ විද්‍යා ප‍්‍රවේශය - ගාමිණි හපුආරච්චි - සුසිත ප‍්‍රකාශන 2011 (පිටුව 86* )
සංවිධාන චර්යාව - ආචාර්ය යූ බී රාමනායක , ආචාර්ය පී එම් කේ ඒ චන්ද්‍රකුමාර, එම් ඩි එච් ඞී ගුණතිලක ජී පී කරුණානායක විජේසූර්ය ග‍්‍රන්ථ කේන්ද්‍රය  (පිටුව 80*)
සංවිධාන චර්යාව - ආචාර්ය යූ බී රාමනායක , ආචාර්ය පී එම් කේ ඒ චන්ද්‍රකුමාර, එම් ඩි එච් ඞී ගුණතිලක ජී පී කරුණානායක විජේසූර්ය ග‍්‍රන්ථ කේන්ද්‍රය  (පිටුව 81*)
අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා - දයා රෝහන අතුකෝරාල හේළි නිමලා අතුකෝරාල - ශික්ෂා මන්දිර ප‍්‍රකාශනය 2009 (පිටුව185*)

පරීශීලනය කරන ලදී...............

රංග මධුශංඛ